අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
එසේම වැඩිදුරටත් සැකපළකරන්නේ ඝාතකයන් මේ වනවිට රටින් පළාගොස් ඇති බවටය.
ඊයේ (01) දිනයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයාගනු ලැබීය.
මේ අතර අදාළ මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර මේ හේතුවෙන් පොලීසිය සැකපළ කරන්නේ මෙය ඝාතනයක් වියහැකි බවටය.
එහිදී සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇති බවටය.
මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා 50 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු අවිවාහකයෙකි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශය නිවසක පදිංචිව සිටින බවත් මෙම නිවස අලුත්වැඩියා කරමින් සිට ඇති බවත්ය.
පසුගිය ජනවාරි 30 වනදා සිට ඔහු අතුරුදන්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහුට අයත් මෝටර් රථයක නැගී එදින පස්වරු 5.30ට පමණ ඔහු වැල්ලම්පිටියේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවසින් පිටත්ව ගොස් ඇත.
එදින රාත්‍රී 7ට පමණ ඔහුගේ නැගණිය මියගොස් ඇති ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් කිහිපයක් ගනු ලැබුවද ඒවාට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවද අනාවරණය වී තිබේ.
අදාළ පුද්ගලයාගේ නැගණිය පොලීසිය වෙත පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සැකසීම සඳහා තමන් මෙලෙස සිය සොහොයුරාට දුරකථන ඇමතුම් ලබාගත් බවය.
පසුව 7.29ට පමණ මියගොස් ඇති ව්‍යාපාරිකයා නැවත සිය නැගණියට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
එම ඇමතුමෙන් පසුව සිය සොහොයුරාගේ දුරකථනය අක්‍රීය වූ බවත් ඔහු අතුරුදන්ව ඇති බවත් සඳහන් කරමින් ඔහුගේ නැගණිය විසින් අනතුරුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඇතිවූ සැකයක් මත නැගණිය ඇතුළු පවුලේ ඥාතීන් පැලවත්ත ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී තම සොහොයුරාගේ මළ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබෙනු දැක මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.
මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවය.
එම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම ටිකට් පත් ඉන්දුනීසියාව බලා පියාසර කිරීම සඳහා වෙන්කරවාගෙන ඇති බවද වාර්තා වෙයි.
එසේම ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බවද අනාවරණය වී ඇත.
මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව පොලීසිය සැකපළකරන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවක් සම්බන්ධ වී ඇති බවටය.
එසේම අදාළ ව්‍යාපාරිකයා සමඟ එම කාන්තාව පැලවත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසේ සිටියදී තවත් පිරිසකගේ සහාය ලබාගෙන මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටද පොලීසිය වැඩිදුරටත් සැකපළ කරයි.
මේ අතර ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරන එම නිවසේ CCTV කැමරා සවිකර නොමැති බැවින් ඒ අසළ වෙනත් ගොඩනැගිලිවල CCTV කැමරා සහ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද පොලීසිය පවසයි.
මේ අතර ව්‍යාපාරිකයා සිය නිවසේ සිට මළ සිරුර හමුවූ නිවස වෙත පැමිණි මෝටර් රථය මෙතෙක් හමුවී නොමැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
copied by ada derana