පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 04ක්

841

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 04ක් සපිරෙනවා. 

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා. 

එමෙන්ම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ථ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්වුණා. 

මෙම ප්‍රහාර හේතුවෙන් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව අද උදෑසන 8:00 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමටයි සැලසුම් කර ඇත්තේ. 

අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බවයි කතෝලික සභාව සදහන් කළේ. 

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි. 

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පැවැත්වුවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here