විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡාවේදී ජනපති දුන් විසඳුම

1172

සැප්තැම්බර් මාසය වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මුල්‍ය සහන සහ වරප්‍රසාද සලකා බැලීමට රජයට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. 

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. 

සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් පැමිණ සිටි අතර, මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලුවලට දිය හැකි විසඳුම් හඳුනාගෙන වත්මන් ආර්ථික පසුබෑම තුළ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාමයි. 

විශ්වවිද්‍යාල පද්ධතියේ අවශ්‍ය පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නා. 

වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවන බව විශ්වවිද්‍යාල දේශනවලදී අවධාරණය කෙරුණා. 

දැනට පවතින මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් එලෙසම පවත්වාගෙන යමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා. 

දැනට අත්හිටුවා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව නැවත ලබාදීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා. 

රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේදී වත්මන් ලෝකයට ගැළපෙන පරිදි සුදුසු උපදෙස් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here