අද (17) අලුයම 03.30ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි.
ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” වන අතර ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර දී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට ද සැලසුම් කර තිබේ.
මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජය සහාය ලබාගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

