NMRA අමල් බිසෝ තියරිය

164

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අමල් බිසෝ සහ කිසා ගෝතමිය පටලවා ගත් පරිදිම, ඖෂධයක ‘සාමාන්‍ය සංකූලතා’ සහ ‘මාරාන්තික සංකූලතා’ පටලවාගෙන තිබෙනවා. මාරාන්තික සංකූලතා සහිත ඖෂධයක් කිසිසේත්ම රෝගීන්ට ලබා දිය නොහැකියි.

නියාමන අධිකාරියේ සභාපති අමල්බිසෝව පටලවද්දී, ගහ කොල පවා උදව් කරලා බේරා ගත්ත වයස අවුරුදු දෙකක තවත් අමල් බිසෝ කෙනෙක් බාල ඖෂධයක් නිසා මිය ගිහිල්ලා.

පේරාදෙනිය ළමා රෝහලේ වයස අවුරුදු 2 1/2ක් වයස ඇති බිළිදෙක් මිය ගිහිං. පාදයේ ආභාධයක් සඳහා ශල්‍යකර්මයක් කරන්න ඇතුලත් වෙච්ච දරුවා, නිර්වින්දනය කිරීම සඳහා ලබා දෙන ලද ඖෂධය නිසා ඔහු මිය ගිය බවට බරපතල චෝදනාවක් තියනවා.

පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් මෙම දරුවා මියගොස් ඇති බවට වාර්තා වනවා.

රෝහලේ වෛද්‍යවරු විසින් ඒ පිළිබඳව තහවුරු කළ බව, දරුවාගේ පියා සදහන් කර තිබෙනවා.

පසුගිය මස 23 වැනිදා පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම දරුවා පේරාදෙණිට ළමා රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවයි.

ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

මීට පෙර ද අවස්ථා දෙකක දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ ද නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන්.

දරු ප්‍රසූතියක් සඳහා එම රෝහලට ඇතුළත් වූ කාන්තාවක් සහ තවත් කාන්තාවක් මෙලෙස මියගොස් තිබුණා.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයාට අනූව එය ඉතාම සාමාන්‍ය තත්වයක්. ඔහුට අනූව ඖෂධ නියාමන අධිකාරිය ඉදිරි තීරණ ගනු ලැබුවහොත්, රට තුල බාල ඖෂධයක් නිසා නොමල ගෙයක් සෙවීම, නොමල ගෙයකින් අබ සෙවීමටත් වඩා අසීරු විය හැක.

කෙසේ නමුත්, අධිකාරියේ සභාපතිවරයා අමල් බිසෝ සහ කිසා ගෝතමිය පටලවා ගත් පරිදිම, ඖෂධයක ‘සාමාන්‍ය සංකූලතා’ සහ ‘මාරාන්තික සංකූලතා’ පටලවාගෙන තිබෙනවා. මාරාන්තික සංකූලතා සහිත ඖෂධයක් කිසිසේත්ම රෝගීන්ට ලබා දිය නොහැකියි. එය සභාපති වරයාට සාමාන්‍ය තත්වයක් වුවද, ජීවිත නැති කර ගන්නා මහජනාතාවට එය සාමාන්‍ය තත්වයක් නොවේ.

අධිකාරිය විසින් රට තුල භාවිතය සඳහා ඖෂධයක් මුදා හැරීමෙන් පසු, එම ඖෂධය විශ්වාසදායක ලෙස භාවිතා කිරීමට මහ ජනතාවටත්, සෞඛ්‍ය වෘත්තීකයින්ටත් හැකියාව තිබිය යුතුය. එම ඖෂධය භාවිතයට සුදුසු බවට තහවුරු කිරීමට නියාමන අධිකාරිය අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද යන්න සොයා බැලීම හැකියාවක් සාමාන්‍ය මහජනතාවට නැහැ. NOL ක්‍රමවේදය හරහා ඖෂධයක් මුදා හැරියද, එම වගකීමෙන් මිදීමට අධිකාරියට හැකියාවක් නෑ. ඔවුන් ‘විරෝධතාවයක් නැත’ යන්න මගින් කියවෙන්නෙත්, තත්වය පිළිබඳව කිසිදු ගැටළුවක් නැති නිසා විරෝධතාවයක් නොමැති බව මිස, “මැරෙන්නත් පුළුවන්, ඇස් අන්ධ වෙන්නත් පුළුවන්, ඒ වුණාට අපි විරුද්ද්ධ නෑ” වගේ හාස්‍යදායක අවසරයක් නොවන බව, අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරි තැන අවබෝධ කර ගත යුතුය.

කෙසේ නමුත්, බාල ඖෂධ හේතුවෙන් මරණ තුනක් වාර්ථා වී තිබියදී, අධිකාරියේ සභාපති වරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වා, පොදු මහ ජනතාව විහිළුවට ලක් කිරීම වෙණුවට, ඔවුන් සදාචාරයක් ඇති වෘත්තිකයින්නම් වහාම ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමු.

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here