ශ්‍රී ලංකාව විසින් තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට ලබන මාසයේ ඉරානයට තේ හුවමාරු කිරීම ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.
ඒ ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළඳපොළකට විකුණුම් ඉහළ නැංවීමට සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටීම හේතුවෙන්.
2012 දී ආනයනය කරන ලද තෙල් සඳහා භාණ්ඩ හුවමාරුව 2021 දී එකඟ වූ නමුත්, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ඩොලර් හිඟය නිසා එම වැඩසටහන ප්‍රමාද වුණා.
රොයිටර් පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසා ඇත්තේ රටට වැදගත් වෙළඳපොළකට ප්‍රවේශය ලැබෙන බැවින් ඉරානයට සහ ශ්‍රී ලංකාවට ඩොලර් මත යැපීමෙන් තොරව වෙළඳාම් කළ හැකි බැවින් මෙම වැඩසටහන කාලෝචිත පියවරක් බවයි.
සභාපති නිරාජ් ද මෙල් පවසා ඇත්තේ මාස 48ක කාලයක් සඳහා සෑම මසකම ඩොලර් මිලියන 5ක් වටිනා තේ යැවීමට ගිවිසුම් ගත වූ නමුත් මුලදී එය මසකට ඩොලර් මිලියන 2ක් පමණ වනු ඇති බවයි.
ගෝලීය වශයෙන් ජනප්‍රිය Ceylon Tea යනු ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන බෝගය වන අතර, රජයේ දත්ත වලට අනුව පසුගිය වසරේ රට සඳහා ඩොලර් බිලියන 1.25ක් උපයා තිබෙනවා.
ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්ගෙන් එකක් වූ නමුත් ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක වෙළඳාමට හරස් වීම නිසා 2018 දී ඩොලර් මිලියන 128 සිට පසුගිය වසරේ අපනයනය ඩොලර් මිලියන 70 දක්වා ක්‍රමානුකූලව පහත වැටී තිබෙනවා.
