කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) දහවල් 12.00ට රැස්වීමට නියමිතව තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙලෙස රැස්වීමට නියමිත අතර පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ද අවදානය යොමුකිරීමට නියමිතව තිබෙන අතර පසුගිය 13 වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී පාර්ලිමේන්තුව හෙට (18) සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබුණි.
කෙසේවෙතත් එම තීරණයේ සංශෝධනයක් මෙතෙක් සිදුකර නොමැති අතර පාර්ලිමේන්තුව හෙට රැස්වීමට නියමිතය.
එම කාලය තුළ දි රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.
ඊට අමතරව මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇති අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට සැලසුම් කර ඇති බවද බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙම පාර්ලිමේන්තු සතියේ දී පැවැත්වෙන බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
මේ අතර රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව පත් කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මෙම පාර්ලිමේන්තු සතියේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කිරීමට නියමිතව තිබෙන අතර රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු වූ පිරිසක් එම කමිටුවට පත් කිරිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය සහ ජාතික ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
එමෙන්ම කථානායකවරයා විසින් පත්කළ කමිටුවට විරෝධතාවක් දක්වා එය සංශෝධනය කරන ලෙසට මෙම පාර්ලිමේන්තු සතියේ දී කථානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

