රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැය 24ක වර්ජනයක්

711

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආර්ම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ අතර එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බවය.

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. දැන් දිගින් දිගටම දික්ගැස්සෙමින් යනවා. මේ ගැටලුව විසඳන්නේ නැතුව ප්‍රශ්නය දිගටම තියෙද්දි ගැටලුව විසඳීමට අසමත් වීම නිසා නැත්නම් ඒ ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා ඒ ගැටලුව විසඳන්න අසමත්වීම නිසා, ඔහුගේ නොහැකියාව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවුණා මේ ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අරගෙන යන්න. ඔහු සතියක කාලයක් ඉල්ලුවා. දැන් සති තුනක් වෙනවා. තාමත් තමන් ලබාදුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වෙනතුරුත් හැකියාව ලැබී නෑ. මේ ගැටලුව නොවිසඳීමට විරෝධය දක්වලා එම රෝහලේ භාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි.”

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් “Live24” කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වර්ජනය  පිළිබඳ තමා දැනුවත් කර නොමැති බවය.

“එහෙම එකක් සංවිධානය කළා කියලා මට ආරංචියි. නමුත් මට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරලා නෑ. ගිය සතියේ ඉඳලම ඇක්සන් ගන්නවා කියනවා කුමන හේතුවක් ද කියන්න මම දන්නේ නෑ. ඔය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරිය සැඩ පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියලා. නමුත් මා දන්නා පරිදි මේ වනවිට ඔය කියන විශේෂඥ වෛද්‍යවරිය ළඟ ඔය කියන වෛද්‍යවරු නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙන කිසිදු වෛද්‍යවරයෙක් මාසයක පමණ කාලයක සිට නෑ. මාසයක කාලයක සිට තාඩන පීඩන කළා කියන එක මම දන්නේ නෑ. මොකද වෛද්‍යවරු එම ස්ථානයට යන්නේ නැති නිසා. කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවා. ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කරපු වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට මට බලයක් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here