දියමන්තියක වටිනාකම වැඩිවෙන්නේ, තව තවත් ලස්සන වෙන්නේ එය ඔප දැමූ විටයි. තාරුණ්‍යය තවත් සුන්දර වෙන්නේ තාරුණ්‍යයේ හැකියාවන් ඔපමට්ටම් වූ විටයි. මේ දවස්වල ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගයන, ‘මතුවෙන්න – The Diamond Story’ ගීතයෙන් කියන්නෙත් ඒ වගේ පණිවිඩයක්. තමන් සතුව තියෙන හැකියාවන් සඟවා නොඉඳ දියමන්තියක් වගේ ඔප මට්ටම් වී මතුවෙන්න කියන එකයි මේ ගීතයෙන් කියැවෙන්නේ.
‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවිතේ – විඳගන්න
ජයගන්න’
සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් වගේම රැප්සිලා (සාරංග දිනේෂ්) ගේ සංගීතයෙන් හැඩවුණු ‘මතුවෙන්න’ ගීතය මීට පෙර අපි දුටුව ප්‍රසංග වේදිකාවේ ගැයෙන ජය ශ්‍රී ලගේ ගීත වලට වඩා වෙනස් අත්දැකීමක් එක්කරනවා. ඒ වගේම ගීතයේ සංගීතයත් නැවුම් අත්දැකීමක් රසිකයින්ට එක්කරනවා.
අපේකම කැටිවුණු මේ ගීතය තුළ ලංකාවේ හිටියත් තවමත් අපි නොදැකපු ලස්සන, ආකර්ශණීය තැන් ගණනාවක් දැකගන්න පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මේ ගීතයෙන් වෙනස් විදියට දැකගන්නට පුළුවන්.
‘මතුවෙන්න’ ගීතය පුරා දැකගන්න ලැබෙන තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ ඩයමන්ඩ් සංකේතයි. මේ ඩයමන්ඩ් කතාව නිසාම ගීතය එන්න කලින් ඉඳන් මේ ගැන සමාජ මාධ්‍ය තුළ පළවුණු පුවත් වල පවා පළවුණේ ජය ශ්‍රී ලා අලුතෙන් ඩයමන්ඩ් බිස්නස් එකක් වත් කරනවද කියලයි. ගීතයේ ආරම්භක රූප රාමුව තුළින් පෙන්වාදෙන්නෙත් ඩයමන්ඩ් එකක් ඇතුළට යන ජය ශ්‍රී අයියයි මල්ලියි.
මේ ඩයමන්ඩ් කතාවේ සුලමුල දැකගන්න, ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවට පිවිසිලා ‘මතුවෙන්න’ දැකගන්න.