පාසල් තුළ දේශපාලනය කතා කරන බවට තමාට චෝදනා කරන බවත් ඒ අයට දිය හැකි පිළිතුර වන්නේ සියල්ලන්ටම වඩා දරුවන් වටී කියන දේ අද රටේ ක්‍රියාත්මක වන්නේද කියා සිතන ලෙසත් සියල්ලන්ටම වඩා දරුවන් වටිනවා නම් ඇත්ත කතා කරන්න හැකියාවක් තිබිය යුතු බවත් ඒ සදහා පන්සල, පල්ලිය, කෝවිල, දේවස්ථානය, පාසල කියා සීමා නොකරන බවත් එවැනි බොරු තර්ක ඉදිරිපත් කරන පුද්ගලයන් ජනතාවටත් හොරා රටේ මුදල් පිට්පොකට් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රට බේරාගත් හමුදාව සියයට 50ක් කප්පාදු කරන බවට වාර්තා වන බවත් එසේ රැකියා අහිමි කරන්නේ නම් ඔවුන්ට විකල්ප ජීවනෝපායක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට නම් අල්ලස, දූෂණය, වංචාව හා හොරකම තුරන් කර විනිවිදභාවයෙන් යුක්තව වගකියන හා වගවන පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු බවත් එවිට ජනතාවට රට වෙනුවෙන් කැපකිරීම් සිදුකිරීම අනවශ්‍ය බවත් ආණ්ඩු පත් කරන්නේ පත්වූ පාලකයන් වෙනුවෙන් ජනතාවට කැපකිරීම් සිදු කිරීමට නොව ජනතාවට හොඳ ජිවන තත්වයක් හිමිකර දීමට බවත් රටේ නායකයා යනු රටේ ජනතාවගේ බාරකාරයා බවත් ඔහුගේ හදවත ජනතාව දුක් විදින විට උණුවිය යුතු බවත් අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය නොමැතිව තනතුරුවල සිටීම ඵලක් නොවන බවත් මේ රටට අවශ්‍ය ජනදුක තේරෙන දූෂණය තුරන් කරන රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පාසල් දූදරුවන් හා සරසවි සිසුන්ට ද හරියාකාර කෑමක් නොමැති බවට සමීක්ෂණයක් මඟින් අනාවරණය වී ඇති බවත් පාසල් සිසුන් ආහාර නොමැතිව ක්ලාන්ත දමන බවත් ඔවුන්ට හිමි මූලික අයිතිවාසිකමක් වන රජයෙන් දිවාආහාරය ලබා දීම පවා අහිමි කර ඇති නමුත් සමගි ජනබලවේග රජයක් යටතේ සියලුම පාසල් සිසුන්ට එය ලබා දෙන බවත් පැවසීය. ඊට අමතරව නිල ඇදුම් මෙන්ම අධ්‍යාපනය කර ගෙන යාමට පහසු වන සුහුරු ජංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් ලබා ගත නොහැකි අයට එවැන්නක් ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ වන විට රට ආර්ථික සමාජීය පරිහානියක පවතින බවත් මේ සඳහා බොහෝ දෙනා උත්තර හා විසදුම් සොයන බවත් ලෝක ළමා දිනය දවසේ පවා පාසලකට බස් රථයක් පරිත්‍යාග කිරිමට හැකි වීම පසුගිය කාලයේ ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස යථාර්ථයක් කිරීම බවත් නිදහස ලැබූ දවසේ සිට වසර 75ක් පුරා සිදු වූයේ බලය ලබා ගෙන රටට වැඩ කිරීම මිස විපක්ෂය විසින් රටට වැඩක් නොකර ආණ්ඩුබලය ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම බවත් මේ තත්ත්වය පසුගිය වසර 3 සමගි ජනබලවේගය වෙනස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම පරිත්‍යාග සිදු කිරීමේ දී කිසිදු කොමිස් මුදලක් ලබා ගෙන නොමැති බවත් සෑම දෙයක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ රටට අවැසි කැට හොල්ලා ලෝකේ වටේ හිඟා කකා යන දේශපාලනය නොව රටේ දරුපරපුර ශක්තිමත් කර ඒ තුළින් රට ගොඩ නැගීම බවත් ඒ සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ මොහොත වන විට සමගි ජන බලවේගය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා ලක්ෂ 3892ක් වැය වී තිබේ. එසේම තවත් රජයේ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ. ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ හා ඖෂධ ලබා දී තිබේ.

